Wednesday, June 27, 2018

නිහඬ වනපෙත අවදි කරනා විහඟ මිතුරෝ...

නිහඬ වනපෙත අවදි කරනා විහඟ මිතුරෝ...

- ලාංකේය පීතකන් කොණ්ඩයා (ඔටුනු පළන් කුමාරයා)-

    ලාංකේය කුරුල්ලන් අතරේ "ඔටුුනු පළන් කුමාරයා" යන පටබැදී නම ලද හැකි එකම විහඟ මිතුරා වනුයේ ලංකා පීතකන් කොණ්ඩයා පමණි. ඒ උදෙසාම ගෙත්තම් කළ, සොබාදහමෙන් නිමැවුම් කළ ප්‍රියන්කර වූ සළුපිළිවලින් හේ හැඩව සිටියි. 
ඉංග්‍රීසි නම - yellow eared bulbul
විද්‍යාත්මක නාමය - Pycnonotus Penicillatus
අයත් කුලය - PYCNONOTIDAE


-ලංකාව තුළ පදිංචි ස්ථාන-

තෙත් සිහිල් කඳුකර වනපෙත් ඇසුරේ ස්වකීය දෛනික දවසැරිය පවත්වාගෙන යාමට වැඩිමනක් ප්‍රියයි. එනිසා මද්‍යම කඳුකරයේ ඉහළ කොටස්වල වැඩි වශයෙනුත්, කඳුකරයට බටහිර බෑවුමේ පිහිටා ඇති තෙත් කලාපීය ප්‍රදේශවල දුලබ ඝනත්වයකින් වාසය කරයි. වන පෙතට පමණක් නොව තම වාසය සඳහා මීටර් 1000කට ඉහළ කලාපයේ ශාක වෙස්මකින් හෙබි ගෙවතු ආශ්‍රිතව වුවද ජීවත් වෙයි. මෙම පක්ෂීන් පිළිබඳව නිරීක්ෂණයට සහ අද්‍යනයට කදිම ස්ථානයන් ලෙස හපුතලේ , තංගමලේ , හක්ගල , හෝර්ටන් තැන්න, සිංහරාජය ආදි වූ වනගත වනජීවී රක්ෂිතයන් ප්‍රකට ය. 


-සිරුරේ හැඩය-

කැපී පෙනෙන ප්‍රකට ලක්ෂණය වන්නේ හිස දෙපසට වන්නට, ඇස්වලට පිටුපසට වන්නට පිහිටා ඇති " ගිණිසිලු" දෙකක් හා සම කහ පැහැති පිහාටු ගොමු දෙක, මෙම පක්ෂියා සෙසු පක්ෂීන්ගෙන් වෙන්කර හඳුනාගැනීමට උපකාරී වෙයි. එයම සවන්පත් වශයෙන් පිහිටා ඇතැයි යන්න මෙම පක්ෂියා දුටු පමණින් ඇතැමෙක් නිගමනය කිරීමට ද පුළුවන. නමුදු මෙය සවන්පත් ලෙසට වරදවා වටහා නොගත යුතුය. හිස කලු පැහැතිය. ඇස්වලට ඉහලින් සහ නළල දෙපසින් සුදු පැහැති පැල්ලම් සහිතය. නිකට සහ බෙල්ල ද සුදු පැහැතිය. එම වර්ණ සැකැස්ම හැරුණු කල ප්‍රදාන වශයෙන් ශරීරය අඳුරු කොළ,දුඹුරු සම්මිශ්‍රණයකි. යටිකය නියෝජනය කරමින් ළය සහ බඩවත ප්‍රදේශය කහ, කොළ වර්ණ එකතු වී ලා කහ පාටින් හැඩවී ඇත. අත්තටු යුගලයේ යටි පැත්ත තද කහ, කොළ මිශ්‍රිතය. හොට කලු පැහැති අතර පා යුගලය කලු,අලු සහ දුඹුරු යන වර්ණයන්ගේ සංකලනයකි. 


- පොදු වූ හැසිරීම් රටාව- 

දෙදෙනා වශයෙන් සහ ඇතැම්විට කුඩා කුඩා රැළ වශයෙනුත් හැසිරේ. මියුරු සරින් ගී තාල ගායනා විහඟුන් අතරේ ළතෙත් ගී ගායනා කුරුල්ලෙකු නොවෙතත්, ස්වකීය ළැබැදිය අබිමුව දී ප්‍ෙමාන්විතව නගනා හඬ හුදෙකලා වනදිවියට ගැනෙනුයේ අපූර්වතම මිහිරකි. නිදහස්ව පියා සරමින් වනපෙත් ඔබමොබ හැසිරෙන අවස්ථාවන් වෙතොත් පියකරුව සියුරුවම් දෙමින් තමන් සතු ප්‍රබෝධමත් බව සැමත පතුරවාලයි. 


-යහපත් ව්‍යාප්තියකට ඇති තර්ජන-

ලංකාව යනු සංවර්ධනය වෙමින් පවත්නා රටකි. ආර්ථිකමය න්‍යායක් පදනම් වූ සංවර්ධන ක්‍රියාදාමය සොබාදහමට අනුකූලව සිදුවීම යනු නිරෝගිමත් , ශක්තිමත් දැයක ස්ථාවර පදනමයි. සමස්ත ලෝක සිතියමේ ලංකාව යනු ජෛව විවිධත්වය අනූන වූ වාසයට සුදුසු සාධකයන්ගෙන් පිරිපුන් බිමකි. මෙහිදී මුල්තැන ගෙන ඇත්තේ පැරැන්නන් ය. ඔවුහු රටේ සංවර්ධනය ජනතාවට සමීප කළේ සොබාදහමට ගරු කරමින් සහ සොබාදහමේ රීතිවලට අනුකූල වෙමිනි. සොබාසර ප්‍රතිපත්තින් නිසි අයුරින් පිළිපදිමින් තම අනාගත පරපුර වෙතට නිරෝගිමත් දැයක් උරුම කර දීමට ඔවුහු සමත් වූහ. 
  ලංකාවේ හදවත බඳු වූ ජෛව විවිධත්වයෙන් අනූන සංවේදී පරිසර පද්දතීන්හි වාසය කරනා අප විහඟ මිතුරෝ වර්තමානයේ ස්වකීය වාසභූමි විනාශව යාමේ භයානක ඉරණමට මුහුණ දෙමින් සිටියි. 
(උපුටා ගන්නා ලද්දකි)

Sunday, June 17, 2018

ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ ඉරණම

ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ ඉරණම...



     කාර්ය බහුල දිවිපෙවෙතෙන් විඩාව දුරු කරගැනීමට එක් උපස්ථම්භකයක් ලෙස අප රූප පෙට්ටිය භාවිත කරයි. ඇත්තෙන්ම එමඟින් අපගේ විඩාව දුරු වේද? නැතිනම් තවතවත් අපව විඩාබර කරයි ද? යන්න ගැටලුවකි. වර්තමාන රූපවාහිනී නාලිකා සියල්ලක්ම පාහේ විකාශනය කරන ටෙලිනාට්‍ය පිළිබඳව බැලූවිට සියල්ලම එකම ආරක් අනුගමනය කරන බව පෙනී යයි. ලාංකීය බවින් මිදී විදේශීය නැඹුරුවකට ගමන් කරන බවක් රූපවාහිනීය දෙස බැලීමේදී අපට හඳුනාගත හැකිය.

      විශේෂයෙන්ම ඉන්දියානු සාම්ප්‍රදායට ගරු කිරීමක් ලාංකීය ටෙලිනාට්‍ය තුළ දක්නට ලැබේ. ඇත්තෙන්ම පැරණි ලාංකීය ටෙලි සිත්තම් තුළ තිබූ අපේකම නූතන ටෙලි සිත්තම්වලින් සේදී ගොස්ය. තරගකාරීත්වය හමුවේ අනෙකා පරයා යන හැඟීමෙන් මුසුව රූපවාහිනී නාලිකා මුදල් පසුපස හඹා යන ගමනේදී එක් රුකුලක් ලෙස ටෙලිනාට්‍ය තම දැලට හසුකරගෙන හමාරය. ඉන් නොනැවතුණු ඔවුන් විදේශීය ටෙලිනාට්‍යවලට සිංහල හඬකවා ඒවා ලාංකීය ජනතාවගේ හදවතට ඇද දමනු ලැබීය. එමඟින් ලාංකික ජනයා මත් විය. බොහෝ දෙනා අන් රටවල මිනිසුන් , ඔවුන්ගේ සංස්කෘතිය , සාම්ප්‍රදායිකත්වය අද්‍යනයට සහ නැරඹීමට කැමති වෙයි. එය ඉත්තෙක් කරගත් රූපවාහිනී නාලිකා දිගින් දිගටම විදේශීය නාට්‍ය ලංකාවට ගෙන ඒමට සමත් විය.
       ඉන් බහුතර බලපෑම සිදු වුයේ ඉන්දියානු ටෙලි සිත්තම් තුළිනි. ලාංකීය සමාජ පසුබිමට ඉතාමත් සමීප ඉන්දියානු සමාජ වටපිටාව ලාංකීය ජනයා ඇලුම් කරන්නට විය. එයට ප්‍රේම කරන්නට විය. එමනිසා දිගින් දිගටම ඔවුන් එම ටෙලිනාට්‍ය ඉල්ලුම් කරන්නට විය. මෙමගින් සිදු වූ වියසනය කෙබඳුද? එතෙක් රැකගෙන ආ ලාංකීය අපේකම, අපේ අනන්‍යතාව පහත වැටුණි. ලාංකීය නළු නිළියන්ගේ වටිනාකම, පැවැත්ම හීන විය. ඉන්දියානු අනන්‍යතාවය මෙරට ස්තාපිත විය. රැල්ලට යන සමාජයේ අපත් එක් සාමජිකයෙකු වූ යේ නොදැනුවත්වම ය.
    උදේ , දවල් ,රාත්‍රී යන සෑම අවස්ථාවකදීම රූපවාහිනීය නැරඹූ විට එහි සිංහල වැඩසටහනක් , ටෙලිනාට්‍යයක් විකාශනය වන්නේ අල්ප ප්‍රමාණයකට ය. ඒ තරමටම විදේශීය නිර්මාණ අප රට අරක් ගෙන ඇත. ලාංකීය සමාජයේ දැවැන්ත සම්පත්දායකයන් වෙසෙති. ඔවුන්ගේ හැකියාවන් අපට ප්‍රයෝජනයට ගත හැකි නොවේද? ප්‍රෙක්ෂකයා ප්‍රිය කරනු ලබන්නේ මනදොළ පිනවන වැඩසටහන් නැරඹීමට ය. එහි වරදක් නොමැත. එයට සිදු කළ යුතු වන්නේ විදේශිකයින්ගෙන් උකහා ගත් ඔවුන්ගේ වැඩසටහන් ලංකාව තුළ දිග හැරීම නොවෙයි. එවැනි වැඩසටහන් නරඹා එමඟින් ආදර්ශවත් වී ලාංකීය අපේ සම්පත් ප්‍රයෝජනයට ගෙන එමඟින් නිර්මාණ බිහි කිරීමයි.
     නමුත් අප සිදු කරන්නේ කුමක්ද? අන් රටවල ටෙලිනාට්‍ය නරඹා එහි ඇති ප්‍රෂ්න ,ගැටුම් තුළින් අපගේ මනස පුරවා ගැනීමයි. නිකරුණේ කාලය කා දැමීම යි. වත්මන් ලාංකීය සමාජයේ ටෙලිනාට්‍ය අතික්‍රමණය කරගැනීමට විදේශීය ටෙලි සැණකෙළිය සමත් වී හමාරය. නමුත් අප තවමත් ප්‍රමාද නැත. දැන්වත් සිතන්න. විදේශීය ටෙලිනාට්‍ය හමුවේ නිරුවත් වූ ලාංකීය ටෙලිනාට්‍ය කලාව ගොඩනගා ගැනීමට මෙතැන් සිට වෙහෙසෙමු. එවිට ලාංකීය සමාජයෙන් දුරස් වී යන අපේ ටෙලි සිත්තම් කලාව නව පරපුරට දායක කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.

Saturday, June 16, 2018

විලාසිතා තුළින් මතුවෙන කාන්තා නිරුවත

විලාසිතා තුළින් මතුවෙන කාන්තා නිරුවත...



   " අනුරුද්ධ තෙරුන් රෝහිණියගෙ නිවසට යනවිට රෝහිණිය සිය සිරුරේ හටගත් කුෂ්ඨ රෝගයක් නිසා හැට්ටයකින් උඩුකය වසාගෙන සිටියා ය. එහෙත් තෙරුන් වෙත පැමිණීමට සිදු වූ  හෙයින්  එසේ උඩුකය වසාගෙන පැමිණීම තෙරුන් ට කෙරෙන අගෞරවයක් බැවින් හැට්ටය උනා තබා පැමිණියා ය. " 

      මෙය රෝහිණි කතා වස්තුවෙන් උපුටා ගත්තකි. අපේ පැරණි චාරිත්‍ර අනුව ගැහැනු පිරිමි දෙපාර්ශවයම උඩුකය නොවැසූහ. මෙය එදා තත්වය විය. යුරෝපියානු සංස්කෘතිය කෙමෙන් අපේ රට පැහැරගත් දා සිට තත්වය ක්‍රමයෙන් වෙනස් විය. වර්තමානයේ නිරුවත වසා ගැනීමට ඇදුම් අදිනු ලබයි. නමුත් මෙය නිසියාකාරව සිදුවන්නේ ද? වත්මන් කාන්තාව විලාසිතා සමඟ මුසු වූ ලෝකයේ අතරමං වී ඇත. යුරෝපීය රටවල් තුළින් ලංකාවට පැමිණෙන ඕනෑම විලාසිතාවක් අප රටේ කාන්තාවන් ග්‍රහනයට නතු කර ගනියි. ඔවුන් අනුකරණයට රුසියෝ වෙති. එය තමන්ට රිසි සෙ ගැලපේ ද යන්න සිතීමට ඔවුන් ට වුවමනා නැත. New Fashion යන board කෑල්ල  ඔවුන්ගේ මනස සම්පූර්ණයෙන්ම ඩැහැගෙන හමාරය. 
      වත්මන් සමාජයේ බාල , මහලු , වැඩිහිටි , තරුණ යන කාණ්ඩ යටතේ විලාසිතා පැමිණියත් සමහර ගැහැනුන් තම සිරුරට , වයසට නොගැළපෙන විලාසිතාවන්ගෙන් සැරසී මහමඟ ගමන් කරති. එය දකින ඇතැම් බුද්ධිමත් පුද්ගලයින්ට එය හාස්‍ය දනවන්නකි. දුම්රියකට හෝ බස් රථයක ට ගොඩ වුවද දැක ගැනීමට ඇත්තේ අඩ නිරුවත්ව ගමන් ගන්නා කතුන් ය. ඔවුන් අන් මිනිසුන්ට ද අපහසුතාවයකි. තරුණියන් මෙයට කොතෙකුත් ඇබ්බැහි වීද යත් ඔවුන් තම විලාසිතා තෝරා ගනු ලබන්නේ ද අන් අයගෙ ආකර්ශනය දිනා ගැනීමේ යටි අරමුණ පෙරටු කරගෙනය.එය ඔවුන්ට තෘප්තියක් ගෙන දෙනු ඇති. නූතන ගැහැනිය තුළ ලැජ්ජාව සේදී ගොස්ය. මෙය පරිහානියට කරුණක් නොවේද? 
       පැරණි කතුන් ඔසරිය ඇද තම අනන්‍යතාවය රැක ගනිමින් ඉදිරියට පැමිණියහ. නමුත් අද තත්වය ඛේදජනකය. ගැහැණුන්ගෙ මනස විකෘති වී ඇත. සමාජ ජාල වෙබ් අඩෙවිවල නිරුවත් විලාසිතා ඕනෑ තරම්ය. එය අප රටට ගැලපේ ද? "විලාසිතා රැල්ල" ට ලාංකීය කාන්තාවන් දැනටමත් හසු වී හමාරය. බොහෝ මුදල් වැය කර ගනු  ලබන ඇදුම් පැලදුම් තමාට ගැලපේ ද යන්න දෙවරක් තුන්වරක් නොව සිය දහස් වතාවක් සිතුවත් පාඩුවක් නොවනු ඇත. 
      ඇතැමුන් ස්ව උවමනාවෙන් තම නිරුවත ප්‍රදර්ශනය වන පරිදි විලාසිතා තෝරා ගනියි.තම තෝරා ගැනීම ප්‍රියජනක යැයි  ඔවුන් සිතනවා විය හැකිය. නමුත් මෙය ලාංකීය සමාජයට නොගැළපෙයි. ඇතැම්විට එම විලාසිතා තුළින් ඔවුන්ම ඉන් අපහසුතාවට ලක් වන අවස්ථා එමට ය. අප සියල්ලෝම මනුෂ්‍යයෝ ය. අප කිසිවෙකු රහත් වි නොමැත. මෙවැනි නොගැළපෙන විලාසිතා මඟින් පුද්ගල හැඟීම් නිකරුණේ නිරුවත් වෙයි. එමඟින් ඔවුන් ම මානසික අතවරයට ලක්වෙනු ඇත. 
    මෙම තත්වය වෙනස් විය යුතුය. තම සමාජ පසුබිම , බුද්ධි මට්ටම වැනි සාධක මත මෙවැනි දෑ අනුකරණයට පෙළඹෙති. කාලානුරූපව ඇදුම් පැළදුම් වෙනස් වීමේ වරදක් නැත. එහෙත් අපේ ඇදුම් පැළදුම් පිළිබඳ ව , ඒවායේ ඉතිහාසය අනුව හරි හැටි කරුණු විමසා බලා තමන්ට ගැලපෙන , වයසට සුදුසු විලාසිතා තෝරා බේරාගෙන කරනවානම් එය තමාටත් අන් පුද්ගලයන්ටත් පහසුවක් වනු නිසැකය. ස්ත්‍රී ලාලිත්‍ය මතු වී පෙනෙන්නේ විලාසිතා තුළින් මතුවෙන නිරුවත තුළ නොව කාලාන්තරයක් තිස්සේ රැකගෙන ආ සංවරකම තුළය. 

Friday, June 15, 2018

කාමය කැටුව යන මිනිස් සිත

කාමය කැටුව යන මිනිස් සිත...



රූප,ශබ්ද ,ගන්ද, රස,ස්පර්ශය කෙරෙහි මිනිස් සිත ඇලවීම පංචකාමය නම් වෙයි. තම ඉන්ඩ්‍රියයන් පිනවීම සැපතක් සේ කල්පනා කරනු ලබන පුද්ගලයා ඒ කෙරෙහි ඇලෙයි. ඉන් ඇලෙන මිනිසාට එය සැපතකි. අලංකාර රූපයක් , මදුර ශබ්දයක් , ප්‍රිය උපදවන සුගන්ධයක්, දිව පිනවන රසයක්, කය පිනවන ස්පර්ශයක් ලැබීමට මිනිසා ඇලුම් කරයි. එය මිනිස් ස්වභාවය යි. නමුත් එය බොහෝ කල් පවතීද යන්න ගැටලු සහගතය. මෙය නිවැරදිව තේරුම් ගැනීමට දියුණු සිතක් අවැසි වෙයි. සරල නිදසුනක් ගතහොත් , ඔබ මලකට පෙම් බදී යයි සිතන්න. යමෙකු එය නටුවෙන් කඩාගෙන එහි ආශ්‍වාදය විදියි. තවකෙකු එය නටුවෙහිම තිබියදී එහි ආශ්‍වාදය විද දරා ගනියි. මෙහිදී බුද්ධිමත් සිත කුමක්දැයි ඔබට වැටහෙනු ඇත. මන පිනවන සුගන්ධයට වසඟ වී මල නටුවෙන් කඩාගෙන ආස්වාදය විඳින පුද්ගල සිත කාමයෙහි අන්ඨ වී ඇත. මෙවැනි මිනිසුන් සමාජ පරිසරයේ වෙසෙන තාක්කල් දියුණු සමාජ දර්ශනයකට මිනිසාට ගමන් කළ හැකිද?. එය ඔබ කල්පනා කළයුතු කරුණකි.

       ශරීරය ලෙඩ රෝගවලට ගොදුරු වන බව , දිරාපත් වන බව , මැරෙන බව කල්පනා කරන්නෙකුට මෙකී කාමය කරදරයකි. මිරිඟුවකි. එහි යථාර්ථය අවබෝධ කරගත් මිනිසෙකුට එහි ඇති සැපතක් දක්නට නොලැබෙයි. නමුත් මිනිසෙකුට මෙකී කාමයෙන් තොරව ජීවත් විය හැකිද? කාමයක් නොමැතිව ලොව පැවැත්මක් පවතීද? යන කරුණු වෙනම සාකච්ඡාවට බඳුන් කළයුතු වේ. යථාර්ථවාදීව බැලූවිට ලොව ප්‍රාණියෙකු මෙලොවට බිහි වන්නේ කය පිනවන ස්පර්ශ කාමයෙහි ප්‍රතිඵලයක් නිසා නොවේද?. මෙය නිවැරදි ය. නමුත් මෙහිදී තේරුම් ගතයුතු වන්නේ දැඩි ඇල්මෙන් තොර වීමයි. දැඩිව බැද තබා ගැනීම මිනිස් සිතේ ස්වභාවය යි. එහිදී එම අල්ලා ගැනීමට දිගුකාලීන පැවැත්මක් නොමැති බව අවබෝධ කරගන්නේනම් ඔහු හෝ ඇය යම් මට්ටමක දියුණු සමාජ තලයක පසුවන්නේ යැයි නිර්ණය කළ හැකිය.
       කාමය කෙරෙහි ආසාවක් ඇත්නම් එයින් සතුටු වීමට උත්සාහ කිරීම වරදක් නොවෙයි. ඔබගේ සිත කෙබඳුද යන්න ඔබ දන්නේ ය. සිත පාලනය කර ගැනීමේ හැකියාව ඇත්තේ ඔබ තුළ ය. ඔබගේ සිතට අනුව ඔබ ක්‍රියා කරන්නේ නම් ඔබ තුළ ස්වයං හික්මීමක් නිර්මාණය වෙයි. එමගින් දියුණුව කරා ගමන් කිරීමේ හැකියාවක් ලැබෙයි.

Thursday, June 14, 2018

ලාංකීය ගුවන්විදුලි නාලිකා පිළිබඳ කෙටි විමසීමක්...

ලාංකීය ගුවන්විදුලි නාලිකා පිළිබඳ කෙටි                                       විමසීමක්...


     නිදහස් වෙළඳපල ආර්ථිකයත් සමඟ 1980 දශකයෙන් පසුව පුද්ගලික අංශ තුළ ද වියාපාර මට්ටමින් ගුවන්විදුලි සේවාවන් ආරම්භ වන්නට විය. මෙසේ ඇරඹෙන පුද්ගලික ගුවන්විදුලි සේවාවන් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයට ගැනීම හා සාම්ප්‍රදායික ගුවන්විදුලි ආකාරයෙන් බැහැරට යමින් නවතාවයක්  ඔස්සේ සකස් විය. 
     පුද්ගලික ගුවන්විදුලි නාලිකා ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ විනෝදාස්වාදය සඳහා ය. වාණිජ පරමාර්ථ මුල්කොට ගනිමින් ක්‍රියාත්මක වන්නා වු පුද්ගලික ගුවන්විදුලි සේවාවන් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම මඟින්  හොඳ ආදායම් මාර්ගයක් උපයයි. 
       ලංකාව තුළ බොහෝ ගුවන්විදුලි නාලිකා දැනට ක්‍රියාකාරීව පවතී. මෙම නාලිකා විවිධ වු වැඩසටහන් සිංහල , දෙමළ , ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් විකාශය වෙයි. විවිධ වු නාලිකා ලංකා ගුවන්විදුලි සංස්ථාව හා පුද්ගලික ආයතන කිහිපයක් මඟින් විකාශනය වෙයි. 
      ඒ අනුව, colombo Communication Limited මඟින් E Fm. රන් Fm සහ Sri Fm විකාශනය කෙරෙයි. 
    Asia Broadcasting Corporation මඟින් Gold Fm, Sun Fm, හිරු Fm, ෂා Fm සහ Sooriyan Fm විකාශය කෙරෙයි. 
    Maharaja Broadcasting Corporation මඟින් සිරස Fm, ශක්ති Fm, Y Fm, Legends Fm සහ Yes Fm විකාශනය කෙරෙයි. 
    VIS Broadcasting Limited මඟින් සිංහ Fm, Red Fm, Tamil Fm විකාශනය කෙරෙයි.
    TNL Radio Network මඟින් TNL Rocks, Lite Fm සහ රිද්ම Fm විකාශනය කෙරෙයි. 
   මීට අමතරව Lak Fm, ලක්හඬ , නෙත් Fm, සියත Fm, FM දෙරණ යනාදි නාලිකා විකාශනය වෙයි. 
   පුද්ගලික ගුවන්විදුලි භාෂා රටාව ගත් කල සම්මත භාෂා රටාවන්ගෙන් මිදී නිර්මාණශීලි අයුරින් කටවහරට හුරු සරල භාෂා රටාවක් යොදා ගනු ලැබීය. සිංහල හා ඉංග්‍රීසි භාෂාව තමන්ට රිසි අයුරින් පරිහරණය කරයි. 
   වැඩිම දෙනෙකු සවන් දෙන Sri Fm නාලිකාව සරල වින්දනය ඉලක්ක කරගත් ගීත , නාට්‍ය හා පුවත් වැඩසටහන් පමණක් ප්‍රචාරය කෙරෙන නාලිකාවකි. සිරස Fm හා නෙත් Fm කාලීන වැඩසටහන් මද වශයෙන් ද ඒ සමඟ විනෝද වැඩසටහන් වැඩි වශයෙන් ද ප්‍රචාරය කරන අතර රිදම් ,රන්, වයි Fm සම්පූර්ණයෙන්ම ගීත සඳහා වෙන් වු නාලිකා ය. 
    ලක්හඬ හා ස්වදේශික සේවය පමණක් අසන්නන් වෙත හරවත් වැඩසටහන් සැපයීම මූලික අභිප්‍රාය කරගෙන සිටින නමුත් ඒවායේ ස්ථානය පහත වැටී ඇත.මෙම රාජ්‍ය ගුවන්විදුලි නාලිකා මෙසේ පහත වැටීමට හේතු ලෙස ,
       × අසන්නන් හිග වීම.
       × වෙළඳ දැන්වීම් තුළ ඇති අඩුපාඩු.
       × පැවති රජයන් විසින් දේශපාලන                       අපයෝජනයට නාලිකා යොදා ගැනීම.
     ආදිය ගත හැකිය.

    ගුවන්විදුලි නාලිකා අතුරින් අසන්නන්ගෙ රුචිය වැඩි වශයෙන් පවතින වැඩසටහන් ලෙස ,
        * Sri Fm - කණාමැදිරි රාත්‍රිය 
        *  සිරස Fm - ටාසන් විකට කතා 
        *  හිරු Fm - අරා & පැස්බරා / පටිරොල්
   වැනි වැඩසටහන් ගත හැකිය..

     ලංකාවේ ගුවන්විදුලි නාලිකා සිය අසන්නන් සමඟ පවත්වාගෙන යන සබඳතා ලෙස ,
    × දුරකථන මාර්ගයෙන් ගීත ඉල්ලීම් ලබා දීම.
   × දුරකථන මාර්ගයෙන් පැනවලට පිළිතුරු ලබා දීම.
  × SMS මඟින් ගීත ඉල්ලීම.
  × තැපැල්පත් මඟින් පැනවලට පිළිතුරු ලබා දීම..

  ගුවන්විදුලි නාලිකා අතර තරගකාරීත්වය වර්ධනය වෙත්ම අලෙවිකරණ සංකල්පය ඔස්සේ අසන්නන් හා සමීප වීමට එක් එක් නාලිකා උත්සාහ ගෙන ඇත. මෙහි ප්‍රතිඵල ලෙස මෙරට ගුවන්විදුලි ඉතිහාසයේ නොපැවති අනේකවිධ තරග , තෑගි බෙදා දීම ආදිය නිර්මාණය විය. 
     Ex: Sri Fm - ගමින් ගමට / මං අහන්නෙ Sri                             Fm
            නෙත් Fm - නෙත් එළිය 
   පුද්ගලික නාලිකා සියල්ලම තැපැල්පත් හා දුරකථන ප්‍රදාන සන්නිවේදන මාධ්‍ය ලෙස භාවිත කරයි. ගුවන්විදුලි නාලිකා කෙරෙහි නිරන්තරයෙන් එල්ලවන  චෝදනා අතර ,
       × වින්දනයෙන් ඔබ්බට යාමට නොසිතීම.
       × භාෂාව විකෘති කිරීම.
       × රැල්ලට ඔබින ගීත ප්‍රචාරය කිරීම.
  ගත හැකිය. 

    මෙම වැරදි පිළිබඳ මතුපිට අර්ථයෙන් සැලකීමේදී එක්වරම හැඟී යන්නේ මෙම මාධ්‍ය පිළිබඳ නොදන්නා පිරිසකගේ අතට එම හැසිරවීමේ බලය ලැබී ඇති බවයි. නමුත් මෙම සියල්ල පසුපස වෙළඳ අධිකාරිය හසුරුවන අධිපතිමතය පවතියි.


Friday, June 1, 2018

විලාසිතා

විලාසිතා...

" එකවර  එයි ...
  එකවර යයි ...
  තරුණයන්  මත් වෙයි...
  පසුම්බිය හිස්  වෙයි ..."

          - Y.G.Wijayasinghe-

සාම්ප්‍රදායික සමාජයෙන් නූතන සමාජයට පැමිණි ලංකාව

සාම්ප්‍රදායික සමාජයෙන් නූතන සමාජයට                             පැමිණි ලංකාව...




     පෘතුගීසින් මෙරටට පැමිණෙන තුරුම අප රට සමස්තයක් ලෙස සාම්ප්‍රදායික සමාජයක් ලෙස පැවති බව අප දන්නා කරුණකි. භූගෝලීයව ගත් කල ද ආසියානු සමාජ ආශ්‍රිතව බොහෝ ප්‍රදේශ සාම්ප්‍රදායික බවින් තවමත් මිදී නොමැති බවක් දක්නට ලැබෙයි. ලංකාවේ පැවැති කෘෂිකර්මය සහ වාරිමාර්ග ක්‍රම පදනම් කරගත්   ශිෂ්ටාචාරය සාම්ප්‍රදායිකත්වය සමඟ බැඳී පවතින බව කවුරුත් දන්නා නොරහසකි. ආර්ථික ජීවිතය පාරම්පරික කෘෂිකර්මය මත රැදුණ. මෙම කාල වකවානුවේ යැපීම් කරනු ලැබුණේ මුදලින් නොව  භාණ්ඩ  සහ  ඉඩම්  වලිනි. කුල ක්‍රමය  සහ බැඳුණු  වැඩවසම් ක්‍රමය  යනාදිය සාම්ප්‍රදායික  සමාජය  තුළ  දක්නට  ලැබුණි.
           කෙසේ වෙතත්  ඉංග්‍රීසි  පාලන  යුගය  වනවිට  මෙම තත්වය  වෙනස්  විය. ලංකා සමාජය  සාම්ප්‍රදායිකත්වයෙන් නූතනත්වයට  පත් වීමේදී  යටත් විජිත  පාලන ක්‍රමය  ඍජුව සහ වක්‍රව  බලපාන ලදි. සමාජ ජීවිතයේ  සෑම  අංශයකම ඇතිවන වෙනස්කම්  හමුවේ  නවීකරණය උපත ලබන්නට  පටන්  ගත්හ. සාම්ප්‍රදායික සම්බන්ධතා  වෙනුවට  නිල බැඳීම්  මඟින්  ආර්ථික කටයුතු  පවත්වාගෙන  යාම සහ මුදල් හුවමාරුව ක්‍රමිකව වර්ධනය  විය. ඉංග්‍රීසි භාෂාව  පැමිණීමත් සමඟ අප රට සැලකිය යුතු  වෙනසකට  පත්විය.  එමඟින් සාක්ෂරතාව වර්ධනය විය.
           නූතන සමාජය බිහිවීමට  වෙසසින් බලපෑ තවත් කරුණක් වන්නේ බහු සමාජ ක්‍රමය යි.  එමඟින් මෙතෙක් පැවති සිංහල බුද්ධාගම  අනන්‍යතාව  බිඳ වැටුණි. එමඟින් සාම්ප්‍රදායික සමාජය බිඳ වැටීමට ලක් විය. ජනවාර්ගික වශයෙන්  සිංහල , දෙමළ , මුස්ලිම් , බර්ගර් වැනි ජන කොටස්  ඔවුනොවුන්ගේ  සංස්කෘතියට අනුව  ජීවත් විය. ආගමික වශයෙන්  බුද්ධාගම , හිංදු , ඉස්ලාම් , ක්‍රිස්තියානි  වැනි  ආගම් ඔවුන්ගේ  ආගම්වලට  අනුව  එකට ජීවත්  විය. මෙම තත්වය  තුළ  අප සමාජය බහු සමාජ ලක්ෂණ  පෙන්නුම් කිරීම  නවීකරණ ක්‍රියාවලියට  මාර්ගය සැකසීමක් විය.
            මෙම සියලු කරුණු දෙස  විමසිලිමත් ලෙස  බැලීමේදී ලංකා සමාජය සාම්ප්‍රදායික සමාජයෙන් නූතන සමාජයට  පරිවර්තනය වුයේ හදිසි  ප්‍රතිඵලයක් ලෙස  නොවන බව  මට හැඟී යයි.

                      -Y.G.Wijayasinghe-

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය  ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සමාජය දියුණුය. සමාජය දියුණු වීමත් සමඟ  ඒ හා බැදී පවතින ආර්ථිකය ක්‍රමයෙන...