" අනුරුද්ධ තෙරුන් රෝහිණියගෙ නිවසට යනවිට රෝහිණිය සිය සිරුරේ හටගත් කුෂ්ඨ රෝගයක් නිසා හැට්ටයකින් උඩුකය වසාගෙන සිටියා ය. එහෙත් තෙරුන් වෙත පැමිණීමට සිදු වූ හෙයින් එසේ උඩුකය වසාගෙන පැමිණීම තෙරුන් ට කෙරෙන අගෞරවයක් බැවින් හැට්ටය උනා තබා පැමිණියා ය. "
මෙය රෝහිණි කතා වස්තුවෙන් උපුටා ගත්තකි. අපේ පැරණි චාරිත්‍ර අනුව ගැහැනු පිරිමි දෙපාර්ශවයම උඩුකය නොවැසූහ. මෙය එදා තත්වය විය. යුරෝපියානු සංස්කෘතිය කෙමෙන් අපේ රට පැහැරගත් දා සිට තත්වය ක්‍රමයෙන් වෙනස් විය. වර්තමානයේ නිරුවත වසා ගැනීමට ඇදුම් අදිනු ලබයි. නමුත් මෙය නිසියාකාරව සිදුවන්නේ ද? වත්මන් කාන්තාව විලාසිතා සමඟ මුසු වූ ලෝකයේ අතරමං වී ඇත. යුරෝපීය රටවල් තුළින් ලංකාවට පැමිණෙන ඕනෑම විලාසිතාවක් අප රටේ කාන්තාවන් ග්රහනයට නතු කර ගනියි. ඔවුන් අනුකරණයට රුසියෝ වෙති. එය තමන්ට රිසි සෙ ගැලපේ ද යන්න සිතීමට ඔවුන් ට වුවමනා නැත. New Fashion යන board කෑල්ල ඔවුන්ගේ මනස සම්පූර්ණයෙන්ම ඩැහැගෙන හමාරය.
වත්මන් සමාජයේ බාල , මහලු , වැඩිහිටි , තරුණ යන කාණ්ඩ යටතේ විලාසිතා පැමිණියත් සමහර ගැහැනුන් තම සිරුරට , වයසට නොගැළපෙන විලාසිතාවන්ගෙන් සැරසී මහමඟ ගමන් කරති. එය දකින ඇතැම් බුද්ධිමත් පුද්ගලයින්ට එය හාස්‍ය දනවන්නකි. දුම්රියකට හෝ බස් රථයක ට ගොඩ වුවද දැක ගැනීමට ඇත්තේ අඩ නිරුවත්ව ගමන් ගන්නා කතුන් ය. ඔවුන් අන් මිනිසුන්ට ද අපහසුතාවයකි. තරුණියන් මෙයට කොතෙකුත් ඇබ්බැහි වීද යත් ඔවුන් තම විලාසිතා තෝරා ගනු ලබන්නේ ද අන් අයගෙ ආකර්ශනය දිනා ගැනීමේ යටි අරමුණ පෙරටු කරගෙනය.එය ඔවුන්ට තෘප්තියක් ගෙන දෙනු ඇති. නූතන ගැහැනිය තුළ ලැජ්ජාව සේදී ගොස්ය. මෙය පරිහානියට කරුණක් නොවේද?
පැරණි කතුන් ඔසරිය ඇද තම අනන්‍යතාවය රැක ගනිමින් ඉදිරියට පැමිණියහ. නමුත් අද තත්වය ඛේදජනකය. ගැහැණුන්ගෙ මනස විකෘති වී ඇත. සමාජ ජාල වෙබ් අඩෙවිවල නිරුවත් විලාසිතා ඕනෑ තරම්ය. එය අප රටට ගැලපේ ද? "විලාසිතා රැල්ල" ට ලාංකීය කාන්තාවන් දැනටමත් හසු වී හමාරය. බොහෝ මුදල් වැය කර ගනු ලබන ඇදුම් පැලදුම් තමාට ගැලපේ ද යන්න දෙවරක් තුන්වරක් නොව සිය දහස් වතාවක් සිතුවත් පාඩුවක් නොවනු ඇත.
ඇතැමුන් ස්ව උවමනාවෙන් තම නිරුවත ප්‍රදර්ශනය වන පරිදි විලාසිතා තෝරා ගනියි.තම තෝරා ගැනීම ප්‍රියජනක යැයි ඔවුන් සිතනවා විය හැකිය. නමුත් මෙය ලාංකීය සමාජයට නොගැළපෙයි. ඇතැම්විට එම විලාසිතා තුළින් ඔවුන්ම ඉන් අපහසුතාවට ලක් වන අවස්ථා එමට ය. අප සියල්ලෝම මනුෂ්‍යයෝ ය. අප කිසිවෙකු රහත් වි නොමැත. මෙවැනි නොගැළපෙන විලාසිතා මඟින් පුද්ගල හැඟීම් නිකරුණේ නිරුවත් වෙයි. එමඟින් ඔවුන් ම මානසික අතවරයට ලක්වෙනු ඇත.
මෙම තත්වය වෙනස් විය යුතුය. තම සමාජ පසුබිම , බුද්ධි මට්ටම වැනි සාධක මත මෙවැනි දෑ අනුකරණයට පෙළඹෙති. කාලානුරූපව ඇදුම් පැළදුම් වෙනස් වීමේ වරදක් නැත. එහෙත් අපේ ඇදුම් පැළදුම් පිළිබඳ ව , ඒවායේ ඉතිහාසය අනුව හරි හැටි කරුණු විමසා බලා තමන්ට ගැලපෙන , වයසට සුදුසු විලාසිතා තෝරා බේරාගෙන කරනවානම් එය තමාටත් අන් පුද්ගලයන්ටත් පහසුවක් වනු නිසැකය. ස්ත්‍රී ලාලිත්‍ය මතු වී පෙනෙන්නේ විලාසිතා තුළින් මතුවෙන නිරුවත තුළ නොව කාලාන්තරයක් තිස්සේ රැකගෙන ආ සංවරකම තුළය.
Nice topic
ReplyDelete