Wednesday, June 27, 2018

නිහඬ වනපෙත අවදි කරනා විහඟ මිතුරෝ...

නිහඬ වනපෙත අවදි කරනා විහඟ මිතුරෝ...

- ලාංකේය පීතකන් කොණ්ඩයා (ඔටුනු පළන් කුමාරයා)-

    ලාංකේය කුරුල්ලන් අතරේ "ඔටුුනු පළන් කුමාරයා" යන පටබැදී නම ලද හැකි එකම විහඟ මිතුරා වනුයේ ලංකා පීතකන් කොණ්ඩයා පමණි. ඒ උදෙසාම ගෙත්තම් කළ, සොබාදහමෙන් නිමැවුම් කළ ප්‍රියන්කර වූ සළුපිළිවලින් හේ හැඩව සිටියි. 
ඉංග්‍රීසි නම - yellow eared bulbul
විද්‍යාත්මක නාමය - Pycnonotus Penicillatus
අයත් කුලය - PYCNONOTIDAE


-ලංකාව තුළ පදිංචි ස්ථාන-

තෙත් සිහිල් කඳුකර වනපෙත් ඇසුරේ ස්වකීය දෛනික දවසැරිය පවත්වාගෙන යාමට වැඩිමනක් ප්‍රියයි. එනිසා මද්‍යම කඳුකරයේ ඉහළ කොටස්වල වැඩි වශයෙනුත්, කඳුකරයට බටහිර බෑවුමේ පිහිටා ඇති තෙත් කලාපීය ප්‍රදේශවල දුලබ ඝනත්වයකින් වාසය කරයි. වන පෙතට පමණක් නොව තම වාසය සඳහා මීටර් 1000කට ඉහළ කලාපයේ ශාක වෙස්මකින් හෙබි ගෙවතු ආශ්‍රිතව වුවද ජීවත් වෙයි. මෙම පක්ෂීන් පිළිබඳව නිරීක්ෂණයට සහ අද්‍යනයට කදිම ස්ථානයන් ලෙස හපුතලේ , තංගමලේ , හක්ගල , හෝර්ටන් තැන්න, සිංහරාජය ආදි වූ වනගත වනජීවී රක්ෂිතයන් ප්‍රකට ය. 


-සිරුරේ හැඩය-

කැපී පෙනෙන ප්‍රකට ලක්ෂණය වන්නේ හිස දෙපසට වන්නට, ඇස්වලට පිටුපසට වන්නට පිහිටා ඇති " ගිණිසිලු" දෙකක් හා සම කහ පැහැති පිහාටු ගොමු දෙක, මෙම පක්ෂියා සෙසු පක්ෂීන්ගෙන් වෙන්කර හඳුනාගැනීමට උපකාරී වෙයි. එයම සවන්පත් වශයෙන් පිහිටා ඇතැයි යන්න මෙම පක්ෂියා දුටු පමණින් ඇතැමෙක් නිගමනය කිරීමට ද පුළුවන. නමුදු මෙය සවන්පත් ලෙසට වරදවා වටහා නොගත යුතුය. හිස කලු පැහැතිය. ඇස්වලට ඉහලින් සහ නළල දෙපසින් සුදු පැහැති පැල්ලම් සහිතය. නිකට සහ බෙල්ල ද සුදු පැහැතිය. එම වර්ණ සැකැස්ම හැරුණු කල ප්‍රදාන වශයෙන් ශරීරය අඳුරු කොළ,දුඹුරු සම්මිශ්‍රණයකි. යටිකය නියෝජනය කරමින් ළය සහ බඩවත ප්‍රදේශය කහ, කොළ වර්ණ එකතු වී ලා කහ පාටින් හැඩවී ඇත. අත්තටු යුගලයේ යටි පැත්ත තද කහ, කොළ මිශ්‍රිතය. හොට කලු පැහැති අතර පා යුගලය කලු,අලු සහ දුඹුරු යන වර්ණයන්ගේ සංකලනයකි. 


- පොදු වූ හැසිරීම් රටාව- 

දෙදෙනා වශයෙන් සහ ඇතැම්විට කුඩා කුඩා රැළ වශයෙනුත් හැසිරේ. මියුරු සරින් ගී තාල ගායනා විහඟුන් අතරේ ළතෙත් ගී ගායනා කුරුල්ලෙකු නොවෙතත්, ස්වකීය ළැබැදිය අබිමුව දී ප්‍ෙමාන්විතව නගනා හඬ හුදෙකලා වනදිවියට ගැනෙනුයේ අපූර්වතම මිහිරකි. නිදහස්ව පියා සරමින් වනපෙත් ඔබමොබ හැසිරෙන අවස්ථාවන් වෙතොත් පියකරුව සියුරුවම් දෙමින් තමන් සතු ප්‍රබෝධමත් බව සැමත පතුරවාලයි. 


-යහපත් ව්‍යාප්තියකට ඇති තර්ජන-

ලංකාව යනු සංවර්ධනය වෙමින් පවත්නා රටකි. ආර්ථිකමය න්‍යායක් පදනම් වූ සංවර්ධන ක්‍රියාදාමය සොබාදහමට අනුකූලව සිදුවීම යනු නිරෝගිමත් , ශක්තිමත් දැයක ස්ථාවර පදනමයි. සමස්ත ලෝක සිතියමේ ලංකාව යනු ජෛව විවිධත්වය අනූන වූ වාසයට සුදුසු සාධකයන්ගෙන් පිරිපුන් බිමකි. මෙහිදී මුල්තැන ගෙන ඇත්තේ පැරැන්නන් ය. ඔවුහු රටේ සංවර්ධනය ජනතාවට සමීප කළේ සොබාදහමට ගරු කරමින් සහ සොබාදහමේ රීතිවලට අනුකූල වෙමිනි. සොබාසර ප්‍රතිපත්තින් නිසි අයුරින් පිළිපදිමින් තම අනාගත පරපුර වෙතට නිරෝගිමත් දැයක් උරුම කර දීමට ඔවුහු සමත් වූහ. 
  ලංකාවේ හදවත බඳු වූ ජෛව විවිධත්වයෙන් අනූන සංවේදී පරිසර පද්දතීන්හි වාසය කරනා අප විහඟ මිතුරෝ වර්තමානයේ ස්වකීය වාසභූමි විනාශව යාමේ භයානක ඉරණමට මුහුණ දෙමින් සිටියි. 
(උපුටා ගන්නා ලද්දකි)

2 comments:

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය  ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සමාජය දියුණුය. සමාජය දියුණු වීමත් සමඟ  ඒ හා බැදී පවතින ආර්ථිකය ක්‍රමයෙන...