Wednesday, July 25, 2018

කෙටි කතාව

කුකුළු බිල්ල


    බුදුන් වැද දෙවියන්ට පිං දෙන සිරිනිමල්ට අද ඈතින් උස්ව පෙනෙන කන්ද දෙස බැලූවිට කුඩා ආලෝකයක් තැනින් තැන විහිදෙනවා පෙනුණි. තම නිවස පිහිටි ස්ථානයේ සිට එම කන්ද පිහිටි දෙස ඉතා හොඳින් දර්ශනය වෙන නිසා සිරිනිමල් තවත් හොඳින් එදෙස බලා සිටින්නට විය. සමහරක් ආලෝක ධාරාවන් ඇති වී නැති වී යයි. මෙතරම් සුන්දර වූ ආලෝක ධාරාවන් විහිදෙන්නේ කෙසේද ?මෙය අදහාගත නොහැකි කරුණකි. සිරිනිමල් විමතියෙන් යුතුව එදෙස බලාගෙන කල්පනා කරන්නට විය. කණාමැදිරි එළි මෙතරම් ඈතට  දර්ශනය වන්නේද නැත. බොහෝ සිතුවිලි සිතට ගලාගෙන එයි. සිරිනිමල් සිය බිරිඳට කතා කළේ දියණියන් දෙදෙනාද කැටුව මිදුලට එන ලෙසය. තමන්ට පෙනෙන දර්ශනය ඔවුන්ට ද පෙන්නූ සිරිනිමල් "මොකක්ද සුරංගිනී ඒ එළි ? මටනම් හිතාගන්නවත් බැහැ.." යනුවෙන් විමතිය පලකරන්නට විය. කිසිවකුටත් එම ආලෝක ධාරාවන් විහිදෙන්නේ කුමකින්ද යන්න සිතාගන්නට බැරි විය.


   සිරිනිමල් මේ බව තම අසල්වැසියන් කිහිපදෙනකුට පැවැසීමට සිතා නිවසින් පිටත් විය. නිවසක් පිහිටියේ තවත් නිවසකට බොහෝ ඈතින් ය. දුරින් දුරින් ඇති නිවාස කිහිපයකටම ගිය සිරිනිමල් එම නිවාසවල ජීවත්වන තම අසල්වැසියන්ට සිද්ධිය පවසා සිටියේය.

" ඔය දේවතා එළි. මේවා හාස්කම්.." එහි වූ අනෙකෙක් පැවසීය. "නෑ ඔතන කවුරුහරි මනුස්සයෙක් ඉන්නව ඇති.." තවකෙකු කීය. නොයෙකුත් මතයන් ඉදිරිපත් විය. සියල්ලෝම ඒ දෙසට යාමට තීරණය කර ගත්හ.


 පසුදින ගමේ තරුණයන් කිහිපදෙනකුද පෙරදින සිටි වැඩිහිටියන් ද ආලෝක ධාරාවන් විහිදුණු ප්‍රදේශය පුරා සොයා බැලුවද එහි කිසිවෙකු නොවීය. මෙහි මිනිසෙකු හෝ සතෙකු ජීවත් වන බවටත් හෝඩුවාවක් සොයාගැනීමට නැත. එසේ නම් ඒ කුමක්ද?

 " බොලව්... යකෙක් ගමට ඇවිල්ලා.. හොල්මන් ගමට ඇවිල්ලා.."
  අවතාර හොල්මනක් ගමට රෑට රෑට එනව කියල ගම්මු කියන්නට වූහ. " මොන කරුමයක් වෙලාද මන්ද.. ගමට නරක කාලයක් ඇවිල්ලා.." ගම්මු කතාකරන්නට වූහ.

" කෝකටත් කියලා පරිස්සම් වුණොත් හොඳයි. ළමා ළපටි තරුණ ගැටිස්සියෝ අවේලාවෙ ගමන් බිමන් යනව නොවෙයි.." සමහරු කීහ. ගොම්මන් ජාමය වෙද්දීම අඳුර ගලාගෙන එනවිටම ගමේ නිවෙස්වල දොර ජනෙල් වසා ගන්නට ගම්මානයේ ගම්වාසීන් පියවර ගත්හ. සෑම මිදුලකම ගිනි ගොඩක් ගසා තිබුණේ ආලෝකයට යක්ෂයෝ භූතයෝ බිය වෙතැයි ගම්මානයේ වැඩිහිටියන් ලබාදුන් උපදෙස් මතයි.

" කෝකටත් ගෙදර ආරක්ෂාවට තෙල් ටිකක් මතුරල අපේ ආරක්ෂාවට ඇදුරුකමක් කරගන්න එක නම් හොඳා.."

   යක්කු ගමට ඇවිත් යන පුවත සමඟින් කිසිවෙකු කැලෑ කන්ද දිහා බලන්නටත් බියක් දැක්වීය. මේ අතර සිරිනිමල්ගේ වැඩිමල් දියණියට උණ ගැනුණි. බෙහෙත් බී යම් තරමින් සුවයක් ලැබුවද සවස් වනවිට උණ හොඳටම වැඩි විය. බෙහෙත්වලින් සුවයක් නොවුණේ ඇයිදැයි සිරිනිමල්ට ප්‍රශ්නයක් විය. සවස උණ වැඩිවීමත් තවත් ප්‍රශ්නයකි. සවස උණ වැඩිවීමත් ඈතින් පෙනෙන ආලෝක ධාරාවත් අතරත් සම්බන්ධයක් ඇති බවට ඔහුට සිතුණි.

කුකුළු බිල්ලක් මඟින් අනවිණ කොඩිවිණ පන්නා දමන මිනිසුන්ට සෙත ශාන්තිය ලබා දෙන්නා වූ ශාන්ති දේව මෑණියෝ කැලෑ කන්ද පහළ ගල උඩ දේවාලයේ නිරතුරුවම වසර ගණනාවක සිට කටයුතු කරන්නේ ගමේ ආරක්ෂක කටයුතුවලට පළමු තැන දෙමිනි.


   පණ ඇති විවිධ වර්ගයේ සතුන්ගේ ලේවලින් ගැවසීගත් පිදේනි තටුවලින් සමන්විත දොළ පිදේනි ජප කරමින් දේව වරමින් මන්ත්‍ර කියමින් ඒ මෑණියෝ කරන යාග ශාන්තියෙන් අපමණ මිනිසුන්ට සුවයක් සහනයක් නොමඳව ලැබෙන බව ගම්මු දැන සිටියෝය.

 ඒ හේතුවෙන් කැළෑ කන්ද අසල ගල උඩ දේවාලයේ ශාන්ති මෑණියෝ වෙත දියණිය කැටුව ගිය සිරිනිමල් ,

" මෑණියෝ මගේ දුවට හැමදාම හවස් වෙනකොට අසනීපය වැඩිවෙන්න ගන්නවා. මොකක්ද හේතුව කියලා බලාගන්න ආවේ.." කීය.

පේනය බැලූ ශාන්ති මෑණියෝ,

 " මේ දරුවාට අවතාර බැල්මක් වැටිලා තියෙනවා. අර කැළෑ කන්ද මුදුනේ ඉන්න අවතාර හා භූතයෝ හරි බලසම්පන්නයි. ලේසියෙන් භූතයන් පේතයන් පේන්න එන්නේ නැ. ඔවුන්ගේ ශක්තිය වැඩියි. මේ සඳහා කුකුළෙකු කැප කරන්න වෙයි.."


   පසුවදා උදෑසනම සිරිනිමල් තම වැඩිමල් දියණිය හා සුරංගිනී සමඟ ශාන්ති මෑණියෝ වෙත ගියේ කුකුළෙකු අතින් ගෙනය.
කල්වේලා නොයවා තම කාරිය කිරීමට මෑණියෝ පටන් ගත්හ. ආතුරයා සහ අනෙක් උදවිය බිම දණගසා වාඩි විය.

කුකුළු බිල්ල සිය සුරතෙහි රඳවාගත් මෑණියෝ ආතුරයාගේ දුක් දුරුකර සෙත සලසා දෙන ලෙස යක්ෂයාගෙන් අයැද සිටින්නට විය. ඉන් අනතුරුව උදා වූයේ  බිලි පූදා ඉශ්ට කිරීමේ මොහොතයි. කුකුළාගේ ගෙල ඒ දෙවොල තුළදීම  කුකුළු බිල්ල කැප කොට ආතුරයාට සෙත ගෙනදෙනු ලැබීය.

"දරුවව පරිස්සම් කරගත්තොත් හොඳයි. අපි කෝකටත් ආරක්ෂාවකුත් දාමු.."

ශාන්ති මෑණියෝ සිරිනිමල්ගේ වැඩිමල් දියණියට දෙහි කපා ආරක්ෂක නූලක් ඇගේ බෙල්ලට දැම්මා ය..
හවස් වනවිට උණ තත්වය කෙමෙන් අඩු වී රෝගය නිට්ටාවට සුව විය.

(සත්‍ය සිදුවීමක් ඇසුරිනි )

HS/2015/1138
වයි.ජී.විජයසිංහ

2 comments:

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය  ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සමාජය දියුණුය. සමාජය දියුණු වීමත් සමඟ  ඒ හා බැදී පවතින ආර්ථිකය ක්‍රමයෙන...