Saturday, July 14, 2018

කෙටි කතාව

"මඟුල් තොවිලය" 

      යාන්තමින් බිත්ති බැද උස්සන ලද ගරා වැටුණු ගෙයි මකුළු දැල් අවුරුදු ගණනාවකින් කඩා නොමැත. මිදුලට වැටී ඇති කෝළ , සුළඟින් අතු ගා ගෙන යනු ලැබෙයි. මල් ගස්වල මල් හටගෙන නොමැත. වල් බිහිවී ඇත. "කලු නැන්දා" යන පටබැදී නමින් හඳුන්වනු ලැබූ කාන්තාවක් සහ ඇගේ දියණිය වූ රණ්මිණි නිවසෙහි වෙසෙයි. කලු නැන්දාගේ ස්වාමියා වසර ගණනාවක සිට ආගිය අතක් නොමැත.

       වෙනදාට උදෑසන 10 පහුවනතුරුම නිදි කිරණ රණ්මිණි මෙදින ක්‍රියා කලේ කඩියෙකු මෙනි. මාස ගණනාවකින් කොස්සක් අල්ලා නොතිබුණු රණ්මිණි මාස ගණනාවක කුණු දූවිලි ඉස්සරහ පඩියට ගොඩ ගසන ලදී. මෙවැනි කාර්යක රණ්මිණි නිරත වන්නේ ඇය බැලීමට නිවසට මනාලයෙකු එන දිනයක පමණක් බව කලු නැන්දා සේම ගමේ අනෙක් උදවියත් දන්නා නොරහසකි.

  " අම්මේ මං නාගන්න යනවා.."

  " ඉක්මනින් නාගෙන වරෙන්. වෙනදා වගේ දවසේම ළිඳ ළඟ ඉන්නේ නැතුව.."

 කලු නැන්දාගේ දෝෂාරෝපණය මැද රණ්මිණි ළිඳට පියමන් කරන්නට විය. නාන්න ගිය රණ්මිණිගෙ සිත දෙගිඩියාවෙනි.

 " අද එන කෙනාවත් පෙනුමැති පෝසතෙක් වුණොත් හොඳා.."

   රණ්මිණිගෙ කල වයස ඉක්මවා ගොස් දැන් 34 වෙනි වියට පා තැබීමට නියමිත ය. නමුදු ඇය සොයනු ලබන්නේ සල්ලිකාර කොළඹ මහතෙකි. ඇය සොයනු ලබන පිරිමියකු අහල ගම් හතකවත් නොමැත.

      සියල්ල ලකලෑස්ති කර කලු නැන්දා සහ රණ්මිණි ඉස්තෝප්පුවේ පුටුවකට වී මනාලයා එනතුරු ඇඟිලි ගැන්නෝ ය. රණ්මිණි සිංහල ක්‍රමයට ඔසරියකින් සැරසී සිටි අතර මුහුණේ පවුඩර් ඕනෑවටත් වඩා උලා සිටියා ය. කලු නැන්දා කතා කල මනාලයා පැමිණියේ  දුඹුරු පැහැති කුලී  මෝටර් රථයකිනි. ඒ එහා ගමෙ හාදයෙකි.

" පුතා  ගෙට ගොඩ වෙලා වාඩි වෙන්න. අහ්: මං හිතුවෙ අම්මාත් එක්කන් එයි කියලා.. මම ඉක්මනට කහට උගුරක් වක් කරන් එන්නම්. රණ්මිණි උඹ එතකල් මෙ පුතා එක්ක ටිකක් කතා කරහන්.."

 රණ්මිණි පුටුවෙන් ඉද ගත්තේ " මෙයා නම් හරියන පාටයි " කියන මානසිකත්වයකින් යුක්තව ය. මනාලයා කතා කිරීමට පෙරාතුව රණ්මිණි තම කටහඬ අවදි කළාය.

" ඔයා මොනවාද කරන්නේ. ගෙදර තව කවුද ඉන්නේ.. කොළඹ පදිංචියට යන්න කැමති නැද්ද..."

රණ්මිණිගෙ හිතේ තිබුණු සේරම දැ එකවර කටට ගලා ආවා ය.

" මම නම් දැනට මුකුත් කරන්නේ නැ. තාත්තාගේ කුලී වැඩවලට උදව් වෙනවා. ගෙදර ඉන්නේ අම්මයි නංගී මමයි තාත්තයි විතරයි. අපි ඉපදුණු දවසේ ඉඳන් මේ ගම්වල වැටුණු අය නොවැ. මේ ගම් දාලා කොහෙ යන්නද? කොළඹ යන්න අදහසක් තුන් හිතකවත් නැ.."

"එතකොට මේ කාර් එක..!!"

"අහ්:මේක මෙ මම කුලියට අරගෙන ආපු එකක්.. මගේ බයිසිකලේ රෝදේ හුලං බැහැලා.."

ඔහුගේ පිළිතුරත් සමග රණ්මිණිගෙ සියලු බලාපොරොත්තු බිඳ වැටුණි. මනාලයා ගෙදරින් පිට වීමටත් පෙර රණ්මිණි ඔහුට අකමැත්ත ප්‍රකාශ කලේ රහසේ ය.

නැන්දාගේ ද සියලු බලාපොරොත්තු සුන් විය.

" දැන් උඹට මනාලයන් කී දෙනෙක් බැලුවද. එකෙකුටවත් කැමති වුණාද.. උඹ හොයන එවුන් ලොවෙත් නැ."

කලු නැන්දා ගෙට ගියේ කෝපය හිතේ තද කරගෙනය. "මේකිට මොන යකා වැහිල ද?"....." ඒ මඟුල වෙන්නෙත් නැ..."

   එදා හවස් වනතුරු කල්පනා කළ කලු නැන්දා කඩපිලට ගියේ වේදනාව හිතේ තද කරගෙන  රෑට උයන්නට බඩු රැගෙන ඒම සදහා ය.

කඩපොළේ දී ඇයට එසලින් නංගි හමුවිය.

" මොකද බං නැන්දෙ ප්‍රශ්නයක් වගේ. අර වැඩේ හරි ගියේ නැද්ද?"

" අනේ ඔව් බං නංගියේ ඒ මඟුල හරි ගියෙත් නැ. කොහෙද අපේ රණ්මිණියා කිසි එකෙකුට කැමති වෙන් නැනේ.. කොහෙන් හරි ඇදක් කියනව"

"මං කියන්න ද නැන්දෙ අපි ඕකට සෙත් ශාන්තියක් කරල බලමුද?"

"සෙත් ශාන්තියක්?"

"ඕව කලා කියලා මඟුල් හරි යනවද නංගියේ"

"නැ නැ අපි කරල බලමුකො. එතකොට නැන්දාගේ හිතටත් ටිකක් සැනසීමයි. රණ්මිණි කෙල්ලගේ අපලයක් තිබුණොත් ඒකත් නැති වෙයි නොවැ"

"හා එහෙනං කරන දෙයක් ඉක්මන් කරලා කරමු. මගේ ඇස් දෙක පියවෙන්න කලින් මෙ  කෙල්ලට හොඳ කසාදයක් කරල දෙන්න ඕන නංගියේ"

"හරි නැන්දෙ මෙ එන කෙම්මුර දවසට වැඩේ කරගන්න බඩු ටික ලැස්ති කර ගන්නකො. මං අපේ ගුරුන්නාන්සෙ මාමටත් මෙ ගැන කියන්නම්"

   කලු නැන්දා ගෙදර ආවේ මෙ කටයුත්ත හිතේ තබාගෙන ය. රණ්මිණිගෙ ද වැඩි අකමැත්තක් නොවුණු හෙයින් එළඹෙන සෙනසුරාදා දිනයේ සෙත් තොවිලය කිරීමට දින නියම කර ගත්හ.

ගමේ සිටින සියලු දෙනාගේම උපකාර සහිතව සෙත් තොවිලයට අවශ්‍ය සියලුම අංග උපාංග සිකුරාදා දින හවස් වරුව වනවිට ලෑස්ති කර ගැනීමට කලු නැන්දාට හැකි විය.

ඔය අතර පුරාවිද්‍යා කැණීම් වැඩකට කොළඹින් මහත්තයෙක් මෝටර් රථයකින් එහා ගමට පැමිණ තිබුණි.

සෙනසුරාදා උදේ පටන් සෙත් තොවිලයට අවශ්‍ය කළමනා ගමේ සියල්ලන්ගේම සහයෝගය ඇතිව කලු නැන්දාගේ මිදුලේ ලෑස්ති කරන්නට විය. සෙත් තොවිලය නිසාවෙන් දූවිලි වැදී තිබූ කලු නැන්දාගේ නිවස එළිපෙහෙළි වී ප්‍රියමනාප නිවසක් බවට පත් වී තිබුණි.

"දුවේ සේරම අඩුම කුඩුම ටික ලෑස්තියි නේද? උඹ ගිහින් සුදු ඇදුමක් ඇදගෙන වරෙන්"

ඒ එසලින් අක්කාගේ කටහඬ විය.

ගමේ ගුරුන්නාන්සෙ යකෙදුරා සහ සහායක පිරිස සමග සෙත් තොවිලයට අවශ්‍ය බෙර ආදිය රැගෙන කළුවර වැටෙන මොහොතේදී නිවසට සේන්දු විය.

ආතුරයා සහ කලු නැන්දා ගොක් කොළවලින් සැදූ මල් පැලය ළඟ දණගසා සිටි අතර ගමේ අනෙක් උදවිය ඊට පසුපසින් සිටියහ.

"ඔන්න එහෙනං සියලු අපල උපද්‍රව දූරීන්බූත වෙන්න කියල වැඩේ පටන් ගමු.."

යකෙදුරා තම කාරිය පටන් ගත්තේ පහන පත්තු කර බුදුන් වැද ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවය.

සෙත් තොවිලයක් කියුවිට ගමේ සෙනඟ මෙන්ම එය ආරංචි වූ  අයද එය බැලීමට පැමිණීම සිරිතකි. එහා ගමේ කැණීම් කිරීමට පැමිණි කොළඹ මහතා ද තව මහතෙකු සමග සෙත් තොවිලය බැලීමට පැමිණෙන්නේ තොවිලයේ අවසාන මොහොතට ළඟා වූ පසුවය.

තොවිලය කුමක් සඳහා ද යන්න අවබෝධ කරගත් කොළඹ මහතා තොවිලයේ ආතුරයා බැලීමට සෙනඟ අස්සෙන් යකෙදුරා අසලට සමීප විය. මැදි වයසේ පසු වූ කොළඹ මහතා තවමත් අවිවාහක තරුණයෙකි. රණ්මිණි දුටු ඔහුගේ  සිත ඇය කෙරෙහි ආකර්ශනය විය.

තොවිලය නිමා වෙනතුරු එහි රැදී සිටි කොළඹ මහතා කලු නැන්දාගේ නිවසින් පිට වූයේ පහුවදා උදෑසනම නැවත පැමිණීමේ අරමුණිනි.

HS/2015/1138
වයි.ජී.විජයසිංහ

5 comments:

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය

ආර්ථිකය නළවන මත්ද්‍රව්‍ය  ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන සමාජය දියුණුය. සමාජය දියුණු වීමත් සමඟ  ඒ හා බැදී පවතින ආර්ථිකය ක්‍රමයෙන...